මොකක්ද මේ අපිට අහන්න ලැබෙන නිවන?
අපි දවස ගානෙ මහන්සි වෙලා එක එක දේවල් ඉගෙන ගන්නවා, රැකියා කරනවා, හම්බ කරනවා ජීවිතේ සතුටක් එහෙමත් නැත්තම් ආශ්වාදයක් හොයන්න. අපි ඒත් මෙච්චර කල් කළේ අපිට බාහිර තියෙන දෙයක් තුළ සතුටක් හොයන්න. ඒත් මෙච්චර කල් කරපු දේවල් කළේ අනාගතයේ සැපයක් හෝ සතුටක් උදෙසා නේද? හදිසියෙවත් මැරුනොත් ඔය අනාගතයෙ සැප විදින්න වෙන්නෙ නෑනෙ. එතකොට අපිට සතුටක් භුක්ති විදින්න බැරිද දැන්? මේක ගැටලුවක් නේද?
මොකක්ද සතුට එහෙමත් නැත්තම් ආශ්වාදය?
අපේ කැමැත්තට අනුව තියෙන ඕනම දේකින් අපිට සතුටක්, ආශ්වාදයක් දැනෙනවා. අපි බොහෝ දේවල් (පෙම්වතුන්, දෙමව්පියන්, මිතුරන්,නෑයන්,යාන වාහන, වතු පිටි ඉඩ කඩම්, වත්කම්, සමාජ තරා තිරම් වගෙ දේවල්) "අපිට කැමති විදිහට" තියාගන්න බලනවා. මොකද අපේ සතුට එහෙම අපිට ඕන විදිහට තියෙනකන් පවතින නිසා.
ඒත් සමහර වෙලාවට මේ දේවල් වලින් අපේ ආශ්වාදය ලැබුනෙ නැත්තම් අපි ඒක තව එකකින් හොයන්න බලනවා. හරියට අපි ෆෝන් එකක් ගත්ත දවස් වල හරිම ආසාවෙන් ඒක බලනවා පරිස්සමින් පාවිච්චි කරනවා. ටික කාලයක් ගියාම අන්න ඒ ආශ්වාදෙ නෑ. ඉතින් අලුත් එකකට යනවා. ඕක ජීවිතේ හැම දේකටම දාගන්න පුළුවන්. සමහරුන්ට නම් පෙම්වතුන්/තියන් වෙන්නත් පුලුවන් ;) . ඉතින් මේ සතුට හොයන්න අපි දේවල් අල්ලගන්නෙ ආසාවෙන්. එහෙමත් නැත්තම් තණ්හාව කියනව. ඒකටම රාගය කියනවා. ඉතින් මේව අපිට කැමති සේ තියාගෙන සතුටක් විදින්න නේද අපි හදන්නේ? දැන් මේව ඇත්තටම අපිට ඕන විදිහටම තියෙනවද? ගැටලුවක් තියෙනවා..
ආදීනවය..
ඉතින් අපි මේ සතුට හෙව්ව අපෙන් පිට බාහිර දේවල් වලට පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි අනිච්ච බව. අනිච්ච බව කියන්නේ "අපිට කැමති සේ නොපවතින" ස්වභාවය. ඕක ධර්මතාවක්. ඒක මේ ලෝකෙ ස්වභාවය.ඉතින් මේ දේවල් අපිට කැමති විදිහට නැති උනාම අපිට දුකක් අතෘප්තියක් දැනෙනවා. ද්වේශයක් තරහවක් එන්නත් පුලුවන්. ඒක නිසා නෙමෙයිද අපි සතුට ලබාගන්න අලුත් එකකට ගියෙ? එක්කො විඳව විඳව අපිට ඕන විදිහට තියාගන්න බැලුවෙ? එහෙනම් මේ බාහිරින් ගන්න දේ තුළින් "අපිට කැමති ලෙස" පවතින දෙයක් හොයාගන්න පුලුවන් වෙයිද? නෑ.
නිස්සරණය ..
අපි කැමැත්ත හොයන් යන දේවල් අපිට කැමති විදිහට පවතිතින්නෙ නැති එක මේ ලෝකෙ ධර්මතාවක්. ඉතින් අපි මේ බාහිර දේවල් වලින් එන ක්ෂණික ආශ්වාදය දැකල ඒ දේවල් කෙරෙහි රාගයෙන් / ආසාවෙන් බැදිල සතුටක් බලාපොරොත්තු වෙනවනම් ඒකෙන් දුකක්මයි අතෘප්තියක්මයි ඇති වන්නෙ. ඉතින් මේ හරයක් නැති දේ "අනත්ත" අනර්ථවත්, අසාර දෙයක් කියල බැදෙන්නෙ නැතුව ඉන්නයි ඕනෙ.. එතකොට දුකක්/ අතෘප්තියක් ඇති වෙන හේතුවක් නෑ.
මොකක්ද මේ බැඳීම..?
අපිට සමහර දේවල් දැක්කම ප්‍රියමනාපයි ආසයි ආශ්වාදයි. ඒ වගේ දෙයක් අපේ කරගන්න අපි බැදෙන්නෙ රාගයෙන්/කැමැත්තෙන්. මේකට කියනවා රාගයෙන් පටිච්ච [පටි(බැඳීමා+ඉච්ච(කැමැත්ත) = කැමැත්තෙන් බැඳීම] වෙනව කියලා. රාගයෙන් බැදුනොත් ඒකෙ ආදීනවය තමා ඉහත විස්තර කළේ.
සමහර දේවල් වලට අපි ආස නෑ. අප්‍රියයි. ඉතින් සමහරු ඔය අප්‍රිය දේවල් එක්ක ගැටෙන්න යනව. ද්වේශයෙන් පටිච්ච වෙනවා. තරහව වෛරය ඇති වෙනවා. ගහ මරාගන්නවා. ඒකෙනුත් දුකක් පීඩාවක්මයි එන්නෙ.
ඉතින් මේ ලෝකෙ ප්‍රිය දේවල් වත්, අප්‍රිය දේවල් වත්, උපේක්ෂාවක් පවතින දේවල්වත් අපිට කැමති සේ පවතින්නෙ නෑ කියල දන්න කෙනාට ආයෙ අයේ රාගයෙන් හරි ද්වේශයෙන් බැදිල දුක් විදින්න උවමනාවක් එයිද? මෙච්චර කාලයක් මේ දේ නොදැන අපි මෝහයෙන් (ජීවිතය /සිත පිළිබඳ විද්‍යාව නොදැනීම ) ගියපු ගමනක් ජීවිතය. ඒකයි අපි අසතුටින් අතෘප්ත්මත්ව ජීවත් වුනේ.
මෝහයෙන් , රාගයෙන් , ද්වේශයෙන් බැඳි බැඳි සැපක් බාහිරින් ලබාගන්න බෑ. ඒකයි ලෝක ධර්මතාවය. ඉතින් රාග, ද්වේශ මෝහ වැඩපිළිවෙල නිස්සාරණය කරමින් යන ගමන තමා නිවන් මග. මේ දේ මනාව තේරුම් ගත් කෙනා... අසීමිත සාතුටකින් තෘප්තියකින් තම ජීවිතය ගෙවනවා.
තව කෙනෙක් එක්ක තරග කරලා, ගහ මරාගෙන, හොරකම් කරල, බොරු කියල, කේලාම් කියල ලබා ගන්න සතුටක් ඇත්තට නෑ කියල තේරුම් ගන්නවා. මේ විද්‍යාව දැනන් හිටපු නැති කෙනෙක් මානසික පීඩනයකට ලක් වෙන්නෙ රාග ද්වේශ මෝහ වැඩ පිළිවෙල නිසයි. ඉතින් මේ විද්‍යාව අවබෝධ වුන කෙනාගෙ ලය සිසිල් වී "සී ලයක්" ඇති වෙනවා. එයට අරිය කාන්ත සීලය කියනවා. සමාදන් වීමකින් නොව අවබෝධය තුළින්ම සිල් නොකැඩී පවතිනවා. ඇස් වහන් දුවපු ගමනක් ඇස් ඇරන් දුවන්න පටන් ගන්නවා. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වුනා කියල.මෙයින් උතුම් වූ සෝවාන් ඵලයට පත් වෙනවා. දැවි දැවි ගියපු පාරෙන් මිදිල නිවෙන පාරට යොමු වෙලා නිවන් මාර්ගයට එළෙඹෙනවා.
ඉතින් ඔන්න ඕකයි නිවන.
කාලයක් සැඟව ගියපු අර්ථවත් බුදු දහම නැවතත් මතු වී තිබෙන මේ කාලයේ තව තවත් මේ පිළිබඳව සොයාගෙන තව තවත් ධර්මය අසා තේරුම් ගෙන අඩුම තරමේ සම්මා දිට්ඨියට පත්ව සතර අපා ගත නොවී සතුටින් ජීවත් වෙන්න කියල ආරාධනා කරනවා. නිවන් සුව විදීමට කාලයයි!
No comments:
Post a Comment